Feed

Archive for August 2010


Agra u de

ලෝකයේ අග්‍ර වූ දේ සඳහා සිත පහදවා ගනිමු
අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා යම් කෙනෙක් අග්‍ර වු පල විපාක කැමති වෙනවා නම් එයා අග්‍ර වූ දෙයට පැහැදෙන්න ඕන කියල. ලෝකයේ අග්‍ර වූ දෙයට පැහැදෙන කෙනාට අග්‍ර වූ සැප විපාක අග්‍ර වූ පල විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපට අපේ පැහැදීම ඇතිකර ගැනීම පිණිස මෙබඳු අග්‍ර වූ කරුණු 4ක් පෙන්වා දී තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ලෝකයේ සියලුම සත්වයින් අතර අග්‍ර වන්නේ බුදු රජාණන් වහන්සේ බව. යම් කෙනෙක් ඒ සියලු සත්වයන් අතරේ අග්‍රවන බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා නම් එයාට අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා. අග්‍ර වූ පල විපාක කියල කියන්නෙ අග්‍ර වූ සැප විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා.

මේ ලෝකයේ යම්තාක් සංකත වූ ධර්මයන් තිබෙනවා නම්, එනම් හේතුවකින් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවන්නා වූ යම් දෙයක් ඇත්නම් එබඳු ධර්මතාවයන් අතර අග්‍ර වන්නේ නිවන් මගයි. එනම් ආර්යාෂ්ඨාංගික මාර්ගයයි. යම් කෙනෙක් මේ ආර්ය-අෂ්ඨාංගික මාර්ගය කෙරෙහි පැහැදෙනවා නම් එයාට අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා. අග්‍ර වූ පල විපාක කියල කියන්නෙ අග්‍ර වූ සැප විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා.

ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා අසංකත ධර්මයන් අතර, අසංකත වූ දේවල් තියෙනවා නම් අන්න ඒවා අතර අතර අග්‍ර වන්නේ නිවනයි. යම් කෙනෙක් මේ අසංකත වූ දේවල් අතර අග්‍ර වන්නා වූ නිවන කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාටත් අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලොකයේ යම්තාක් පිරිස් සිටිනවා නම් අන්න ඒ පිරිස් අතරින් අග්‍ර වන්නේ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්. කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින් කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාටත් අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.


ඉතිං යම් කෙනෙක් මේ ලෝකයේ අග්‍ර වූ දෙයට පැහැදෙනවා නම් ඒ අග්‍ර වූ කරුණු කෙරෙහි පැහැදීම මුල්වෙලා එයාට සැප විපාක අත්කරගන්න පුළුවන්කම තියෙනවා කියල. සැප විඳින්න පුළුවන්කම තියෙනවා.


යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා නම් ඒ පැහැදුනේ විශාල ගුණධර්ම රාශියකින් පිරුණු, අතිශය උත්තම වූ ගුණධර්ම වලින් යුක්ත වූ උතුමන් වහන්සේ නමක් කෙරෙහියි. එබඳු ගුණධර්ම වලින් යුක්ත වූ උතුමන් වහන්සේ නමක් කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීමෙන්ම ඒ පැහැදුන කෙනාගෙ සිතේ පිරිසිදු භාවය ඇතිවෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදියට සිත පිරිසිදු වීමත් සමඟ සිත පිරිසිදු වීමට පටන් ගන්නවා.


ඒ වගේම යම් කෙනෙක් නිවන් මඟට පැහැදෙනවා නම් නිවන් මඟ පුරුදු කරන්න එයාට පුළුවන්කම තිබෙනවා. ඉතිං යම් කෙනෙක් නිවන් මග පුරුදු කරනවා නම් එයාට ඒකෙන් සැප විපාක ලැබෙනවා.


ඒවාගේම යම් කෙනෙක් නිවනට පැහැදෙනවා නම්, එයා අකුසල් බැහැර කරන්නත් කුසල් වඩන්නත් එයා තුල කැමැත්ත උපදිනවා. අන්න එමගින් එයාට සැප විපාක ලැබෙනවා.

ඒ වගේම තමයි බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාට එමගින් ධර්මශ්‍රවණය කරන්න පුළුවන්කම තිබෙනවා. දන් පැන් දෙන්න පුළුවන්කම තිබෙනවා. ශීලය ගැන දැනගන්න පුළුවන්කම තිබෙනවා. මේ විදියට නොයෙකුත් ආකාරයේ සැප අත්කර ගන්න පුළුවන් ධර්මයන්, සැප අත්කර ගන්න පුළුවන් විදියවල් පුරුදු කිරීමේ භාග්‍ය උදාවෙනවා ශ්‍රාවක සඟ රුවන කෙරෙහි පැහැදීමෙන්.


යම් කෙනෙක් මේ විදියට ලෝකයේ ඇති අග්‍ර වූ දේ කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත් නියත වශයෙන්ම එයාට අග්‍ර වූ සැප විපාක අත්කරගන්න විඳින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි මේ අග්‍ර වූ ලෝකයේ තියෙන ධර්මයන් කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීම පිණිස ඒ ධර්මයන් ගැන අපි හොඳින් ඉගෙන ගන්න ඕන. එතකොටයි අපට තේරෙන්නෙ ඒවා මේ ලොකයේ තිබෙන අග්‍ර වූ ධර්මයන් කියල. ඒ අග්‍ර භාවය උතුම් භව තේරුම් ගත්තොත් තමයි අපට ඒ කෙරෙහි පැහැදීම ඇතිකර ගන්න පුළුවන්කම තිබෙන්නෙ.

ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඒ වදාල ධර්මය ඉගෙන ගෙන අග්‍ර වූ ධර්මයන් කෙරෙහි පැහැදීම ඇතිකරගෙන අග්‍ර වූ සැප විපාක විඳීමට තරම් භාග්‍යවන්තයෝ වෙමු.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.


Sitha

සිත පිරිසිදු කර ගනිමු

අපේ හිත අපිරිසිදුව තිබුනොත් ඒ අපිරිසිදු වූ සිතින් මහත් වූ දුක් දොම්නස් විඳින්න සිදු වෙනවා. සිත පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබුනොත් ඒ විධියට පිරිසිදු වූ සිතින් මහත් වූ සැප අත් විඳින්න පුළුවන්කම තිබෙනවා. මේ නිසා අපි සිත අපිරිසිදු භාවයෙන් මුදාගෙන පිරිසිදු සිතක් බවට පත් කරගන්න මහන්සි වෙන්න ඕන.

යම් කෙනෙක් සිත පිරිසිදු කර ගත්තොත් එමගින් ඒ තැනැත්තාට නියත වශයෙන්ම සැප ලැබෙනවා. මේ ආකාරයට සැප කැමති කෙනා ඒ සිතේ පිරිසිදු භාවය ඇති කරගන්න මහන්සි වෙන්න ඕන.

පින්වත්නි අපේ සිත අපිරිසිදු වෙලා යන දෙයක් තමයි රාගය. ඒ වගේම සිත අපිරිසිදු වෙලා යන දෙයක් තමයි ද්වේශය. ඒ වගේම සිත අපිරිසිදු වෙන දෙයක් තමයි මෝහය.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ රාගය කියල කියන්නෙ ගින්නක් වගේ දෙයක් කියල. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ද්වේශය කියන්නෙ ගින්නක් වගේ දෙයක් කියල. ඒ වගේ තමයි මෝහය කියන්නෙත් ගින්නක් වගේ දෙයක්. ගින්නක් ඇතිවුණ තැන දැවිල පිච්චිලා යනවා. ඒ වගේ තමයි රාගය සිතට ඇවිල්ල රාගය හිතේ බලවත් වුණාම ඒ සිත දැවෙනවා. ඒ රාග ගින්නෙන් සිත දැවිලා යනවා. ද්වේශය ඇවිල්ල බලවත් වුණාම ඒ ද්වේශ ගින්නෙන් සිත දැවිල යනවා. ඒ වගේම මෝහය ඇවිදින් බලවත් වුණාම සිත දැවිල යනවා.

පින්වත්නි රාගය, ද්වේශය, මෝහය කියන මේ ගිනි වලින් හිත දැවෙන කොට එයාට කායික වශයෙන් සුවපත් බවක් ඇති වෙන්නෙත් නෑ. සිතේ දැවිල්ල නිසා කායික වශයෙන් පහසුවකුත් ඇති වෙන්නෙ නෑ. කයෙනුත් දුක් පීඩා විඳින්න සිද්ධ වෙනවා. මේ ආකාරයට මේ රාග ද්වේශ මෝහ බලවත් සේ සිතට පීඩා ඇති කරන කොට එයාට සැපයක් උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේම නෑ.

මේ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය ඉගෙන ගෙන රාග, ද්වේශ, මෝහ වලින් ඇතිවන මේ මහත් වූ පීඩා ගැන තේරුම් ගත්තොත්, ඒ රාග ද්වේශ මෝහ ගින්නක් සේ අපේ සිත දවන දෙයක් බව අප තේරුම් ගත්තොත්, ඒ රාග ද්වේශ මෝහ ගින්නෙන් දැවෙන්න අපි කැමති වෙන්නෙ නෑ.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය ඉගෙන ගත්ත කෙනා රාග, ද්වේශ, මෝහ වල ස්වභාවය තේරුම් අරගෙන ඒ රාග, ද්වේශ, මෝහ කියන ගිනි නිවා ගන්න කැමති වෙනව. ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන සැප විඳින්න පුළුවන්, සැප අත්කරදෙන මේ උතුම් ධර්මය ඉගෙන ගනිමු. ඉගෙන ගෙන රාගය දුරුකර ගන්න, ද්වේශය දුරුකර ගන්න, මෝහය දුරුකර ගන්න බලවත් සේ කැමැත්ත උපදවා ගනිමු.

යම් කෙනෙක් රාගය දුරුකර ගන්න කැමති වෙනවා නම්, ද්වේශය දුරුකර ගන්න කැමති වෙනවා නම්, මෝහය දුරුකර ගන්න කැමති වෙනවා නම් එයා කැමති වෙන්නෙ දුකින් නිදහස් වෙලා සැප ලබන්නයි. ඒ විධියට සැප ලබන්න කැමති වෙන කෙනා රාගයට කැමති වෙන්නෙ නෑ. ද්වේශයට කැමති වෙන්නෙ නෑ. මෝහයට කැමති වෙන්නෙ නෑ.

රාග, ද්වේශ, මෝහ වලට අකමැති වෙන කෙනාට ඒ රාග, ද්වේශ, මෝහ ගිනි නිවාගෙන සැපවත් වූ ජීවිතයක් ඇතිකර ගන්න භාග්‍ය උදා වෙනවා. ඒ භාග්‍ය උදා කරගන්න නම් අපි රාග, ද්වේශ, මෝහ ගැන අපට කියා දුන් ඒ උතුම් ධර්මය ඉගෙන ගන්නට ඕන. රාග, ද්වේශ, මෝහ දුරු කරගෙන මහත් වූ සැප, පරිපූර්ණ වූ සැප, අතිශයින්ම සැප පහසුව අත්කර ගැනීම පිණිස අපට ඒ ධර්මය කියාදුන් භාග්‍යවතුන් වහන්සේ ගැන අප දැන ගන්නට ඕන. ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන අප දැන ගත්තොත් ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන අපි පැහැදෙනවා.

ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදෙන කෙනා භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ඒ උතුම් ධර්මය කෙරෙහිත් පැහැදෙනවා. ඒ වගේම තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ඒ උතුම් ධර්මය ඉගෙන ගෙන ඒ රාග, ද්වේශ, මෝහ කියන ගිනි නිවා ගන්නට මහත් සේ වෙර වීරිය දරන, අතිශයින් කැප කිරීමෙන් කටයුතු කරන ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රාවක පිරිස ගැනත් පැහැදෙනවා.

ඉතිං යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන, භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේශ, මෝහ නිවා ගැනීම පිණිස පෙන්වා දෙන උතුම් ධර්මය කෙරෙහිත් පැහැදෙනවා නම්, රාග, ද්වේශ, මෝහ නිවා ගැනීම පිණිස කටයුතු කරන, මහන්සි වෙන, වෙර වීරිය දරන ඒ ශ්‍රාවක පිරිස කෙරෙහිත් පැහැදෙනවා නම් අන්න එයාට යම් කලෙකදී රාග, ද්වේශ, මෝහ කියන ගිනි නිවාගෙන ඒ රාග, ද්වේශ, මෝහ වලින් දැවෙන ස්වභාවය වලක්වගෙන සම්පූර්ණයෙන් සුවපත් භාවයට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා.

ඒ විධියට තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති කරගෙන තෙරුවන් කෙරෙහි ප්‍රසාදය ඇති කරගෙන තමාගේ සිත පිරිසිදු කරගන්න යම් කෙනෙකුට පුළුවන් නම් එයා සැබවින්ම සැප උදා කර ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. පරිපූර්ණ සැප උදා කර ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මේ විධියේ පරිපූර්ණ සැපක් අත්කර ගත හැකි වන්නේම තෙරුවන් කෙරෙහි පැහැදීම ඇතිකර ගත්ත කෙනාටම යි. ඒ නිසා අපි සියලු දෙනාටම සෙත් පතනව‍ තෙරුවන් කෙරෙහි මහත් පැහැදීම ඇතිකර ගෙන සැප සහිත ජීවිතයක් ඇතිකර ගන්න භාග්‍ය උදා වේවා කියල.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.


Mau piya upakara

මා පිය උපකාරයට පිදිය යුතු සැබෑම උපහාරය

පින්වතුනි,

ඹබ අපි කාටත් දෙමව්පින්ගෙන් ලැබෙන උපකාරය, දෙමව්පින්ගෙන් ලැබුණ උපකාරය මෙතකැයි කියල ප්‍රමාණ කරන්ට පුළුවන්කමක් නැහැ. අපි කවුරුත් මේ ලෝකයට බිහිවුණේ දෙමව්පියන්ගේ උපකාරයෙන්. මේ ලෝකයේ කිසිම දෙයක් නොදන්නා අය විදිහට, නොතේරෙන අය විදිහට හඳූනන් නැති ලෝකයකට එනකොට දෙමව්පියන්ගේ උපකාර නොලැබුණා නම්, අපි කවුරුත් මහත් වූ අවාසනාවන්තයින් බවට පත්වෙනව. අසරණ බවට පත්වෙනව. ඉතාම අසරණ අය විදිහට මේ ලෝකයට බිහිවෙනකොට දෙමව්පියන්ගේ උපකාරයෙන් තමයි අපි සෑම යහපතක්ම ඇති කරගත්තේ.


මෙබඳූ උපකාර දෙමව්පියන්ගෙන් ලබාගත්ත කෙනා විසින්, ප්‍රතිඋපකාර දැක්වීම උතුම් වූ ගුණයක්. මේ නිසා දෙමව්පියන් පෝෂණය කිරීමල රැක බලා ගැනීම, කවුරුත් ඉතාම උනන්දුවෙන් ඉතාම වුවමනාවකින් කළ යුතු දෙයක් වෙනව. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, දෙමව්පියන්ගෙන් අපට ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වල ඉවරකරන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ කියල. යම් දරුවෙක් තමන්ගේ අම්ම තාත්තා දෙන්නා තමන්ගේ උරහිස් මත්තේ තබාගෙන අවුරුදු සීයක් පුරාවටම ඇප උපස්ථාන කළත්, දෙමව්පියන්ගෙන් ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වල අවසන් කරන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව.

පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ, ඒ දරුවා, දෙමාව්පියන් දෙපළ උරහිස් මත්තේ තබාගෙන අවුරුදු සීයක් උදව්කරනව. කන්න බොන්න දෙමින් සලකනව. ඒ දෙමව්පියෝ මළ පහ කිරීම් පවා කරන්නෙ උරහිස් මත්තේ ඉඳගෙනම යි. මේ ආකාරයෙන් දෙමාපියන්ට සැළකුවා වුනත්, ඒ දෙමාපියන්ගෙන් ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වලා අවසන් කරන්න ලැබෙන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.


ඉතින්, යම් දරුවෙකුට දෙමව්පියන්ගෙන් ලැබුණ උපකාරය සඳහා ප්‍රතිඋපකාර දක්වන්න පුළුවන් විදිහකුත් භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව. තමන්ගේ අම්ම තාත්තා සිල්වත් කරනවා නම්, සීලයේ පිහිටුවනවා නම්, අන්න ඒක අපි දෙමාපියන්ට කරන්න පුළුවන් ලොකුම උපකාරයක් කියල භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව. ඒ වගේම තමයි, දෙමාපියන්ට දහම් දැනුම ලබාදෙන්න පුළුවන් නම්ල අන්න ඒකත් දෙමාපියන්ට හොදින් උපකාර කිරීමක් බවට පත්වෙනව.

ඒ වගේම, දෙමාපියන් දන් පැන් දෙන්න පොළUවනවා නම්, දන් පැන් දෙන්න දෙමාපියන් උනන්දු කරනවා නම්, අන්න ඒකත් දෙමාපියන්ට කරන ලොකුම උපකාරයක්. මේ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන විදිහට, තමන්ගෙ දෙමාපියන් ගුණධර්ම තුළ සමාදන් කරවනවා නම්ල තෙරුවන් කෙරෙහි පහදනවා නම්ල තෙරුවන් කෙරෙහි සමාදන් කරවනවා නම්, ඒ අය තුළ යහපත් ගුණධර්ම උපදවා ගන්න උදව් කරනවා නම්, අන්න ඒ මඟින් දරුවෙකුට, දෙමාපියන්ට මනාකොට උපකාර කරන්න අවස්ථාව තිබෙනව.


එ නිසා අපි කවුරුත් අපිට මහත් සේ උපකාර කල, අපිට ප්‍රමාණ රහිත වූ උපකාර කළ, අපේ දෙමාපියන්ට මනා කොට උපකාර කරන්න දක්ෂ වෙන්න ඕන. ඒ සඳහා කවුරුත් දෙමාපියන් කෙරෙහි ඉතාම කරුණාවෙන්, ඉතාම ගෞරවයෙන් යුක්තව, සෙනෙහසින් යුක්තව, ඒ සැබෑම උපකාරය කළ යුතුවෙනව. සැබෑ උපකාරය කුමක්ද? දෙමාපියන් තෙරුවන් කෙරෙහි සමාදන් කරවල, තෙරුවන් කෙරෙහි දෙමාපියන් තුළ ප්‍රසාදය උපදවල දෙන්ට අපි කටයුතු කරන්ට ඕනෙ. සිල්වත් ජීවිතයක් ගත කරන්ට දෙමව්පියන්ට උදව් කරන්ට ඕනෙ. ඒ වගේම දෙමාපියන් තුළ මසුරුමල දුරුවෙන ආකාරයට, දන් පැන් දීම පිළිබඳව උනන්දුව ඇතිකරවන්නට ඕන. කැමැත්ත උපදවල දෙන්නට ඕන.


ඒ විදිහට දෙමාපියන්ට මේ ජීවිතය වාසනාවන්ත කරගන්ට කියා දුන්නොත්, අපි දරුවන් විදිහට දෙමාපියන්ට මනා උපකාරය කළල සැබෑම උපකාරය කළ අය බවට පත්වෙනව. මේ විදිහට අපි දෙමාපියන්ට උපකාර කළොත්, එමඟින් අපේ ජීවිතයට විශාල පිනක් රැස්වෙනව. දෙමාපියන් යහපතෙහි සමාදන් කරවීමෙන් ම අපට අපේ ජීවිතයට යහපත කරගන්ට පුළුවන්කම තියෙනව. එතකොට අපිත් යහපත කරගෙන, දෙමාපියන්ටත් සැබෑම යහපත උපදවල දෙන්ට තරම් වාසනාවන්තයින් බවට පත්වෙනව. මේ විදිහට අපිට වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේල තෙරුවන් සරණ ගිහිල්ලා, සිල්වත් ජීවිතයක් අපි ගත කළොත් විතරයි.


එ නිසා අපි කාටත් ආශිර්වාද කරන්න කැමතියි, තෙරුවන් සරණ ගිහිල්ල, සිල්වත් ජීවිතයක් ගත කරමින්, අපට මහත් සේ උපකාර කළ දෙමාපියන්ටත්, මනා කොට උපකාර කරන්ට තරම් වාසනාවන්ත අය බවට පත්වේවා කියල.

තෙරුවන් සරණයි..

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.


Kalana mithura asura


සුන්දර වූ ජීවිතයේ සැබෑම අරුත
ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

ලෝකය ගැන යම් කෙනෙකුට හොඳ වැටහීමක් නැතිනම්, තමන්ගෙ ජීවිතය ගැන හොඳ වැටහීමක් නැත්නම්, එයාගේ ජීවිතය එයාට සාර්ථක කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. දැන් බලන්න හෙට ගැන නොදන්න කෙනා, අද ගැන පමණක් දන්න කෙනා, හෙට ගැන හිතන්නෙ නෑ. හෙට ජීවත් වෙන්නෙ කොහෙමද කියල එයා කල්පනා කරන්නෙ නෑ. අද ගැන පමණයි එයා කල්පනා කරන්නේ. එතකොට එයාට හෙට දවසේ ජීවිතය සැපවත් කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. බලන්න, ඒ වගේ තමයි මේ ලෝකය ගැන පිරිපුන් වැටහීමක් නැත්නම්, එයාට මේ ජීවිතය සාර්ථක කරගන්න බැරුව යනවා.


බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කෙනාට ජීවිතය ගැන කලින් නොදුටු දේවල්, නොඇසූ දේවල්, ඉගෙනගන්ට පුළුවන්කම ලැබෙනව. අපට වෙනත් කිසියම් ම කිසියම් දේකින් ඉගෙන ගන්ට බැරි දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි, ඉගෙනගන්ට පුළුවන්කම තිබෙන්නේ. දීර්ඝ සංසාරයක් පුරාවට අපි විවිධ අකාරයේ ජීවිතවල ඉපදෙමින් මැරෙමින් පැමිණි ගමනක් තිබෙනවා කියල අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්.

ඒ වගේම තමයි, ඒ ගමන යම් දවසක නතර කරගන්ට බැරි වුනොත් එහෙම ආපහු සැරයක් ඉපදෙමින් මැරෙමින් ඒ සංසාර ගමන යන්ට සිද්ධ වෙනවා කියල දැනගන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. මේ සංසාර ගමන පුරාවට විවිධ ආකාරයේ ජීවිතවල ඉපදෙමින් මැරෙමින් යන්ට සිද්ධ වෙනවා. විශේෂයෙන් ඉතාම දුක් සහිත වූ ලෝකවල අපට ඉපදෙන්න සිද්ධ වෙනව. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, යම් කෙනෙක් යහපත් දේවල් කළොත්, මරණයෙන් මත්තේ යහපත් වූ සැප ලැබෙන තැන්වල ඉපදෙන්ට ලැබෙනවා කියල.


ඒ වගේම තමයි යම් කෙනෙක් අයහපත් දේවල්, වැරදි දේවල් කළොත් එයාට මරණයෙන් මත්තේ ඉතාම දුක් සහිත තැන්වල ඉපදෙන්ට සිද්ද වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම තමයි පින්වතුනි, යමෙක් අයහපත් දේවල්, වැරදි දේවල් කළොත්, එයාට මේ ජීවිතයේදීත් ඉතාම දුක සහිතව තමයි වාසය කරනට සිද්ධ වෙන්නෙ. කායික වශයෙන් වැරදි කරන කෙනාට, වචනයෙන් වැරදි කරන කෙනාට, සිතින් වැරදි කරන කෙනාට, මේ ජීවිතය පුරාවට දුකෙන් වාසය කරන්න සිද්ධ වෙනවා. මේ ජීවිතයේදී දුකෙන් වාසය කරන කෙනාට, ඊලඟ ජීවිතයේ සැප සහිත තැනක ඉපදෙන්ට ලැබෙන්නේ නෑ.


නමුත්, යම් කෙනෙක් මේ ජීවිතයේදී කයෙනුත් හොඳ දේවල් කරනව, වචනයෙනුත් හොඳ දේවල් කරනව, සිතිනුත් හොඳ දේවල් කරනව. අන්න එබඳූ කෙනෙකුට මේ ජීවිතය පුරාවට ම ඉතාම සතුටින් සැපෙන් වාසය කරන්ට පුළුවන්කම ලැබෙනව. ඒ විදිහට මේ ජීවිතය සැපසේ වාසය කරන කෙනෙක්, මතු ජීවිතය එයා ආයෙ ඉපදෙන්ට ලැබුණොත්, ඉතාමත් ම සැප සහිත, සැප බහුල වූ ලෝකවල උපදින්න පුළුවන්කම තිබෙනව.


පින්වතුනි, අපේ ජීවිතය පිළිබඳ ව සැඟවිලා තිබුණ, මෙන්න මෙබඳූ කාරණා අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කෙනාට කොතරම් පරිපූර්ණ වැටහීමක් ජීවිතය සම්බන්ධයෙන් ඇතිකරගන්න පුළුවන්ද? කියන කාරණාව. මෙබඳූ වැටහීමක් ඇතිකරගත්තා වූ කෙනෙක් මේ ජීවිතයත් සැපවත් භාවයට පත්කර ගන්නව. ඒ වගේම තමයි, එයා ඊලඟ ජීවිතයත් සැපවත් භාවයට පත්කර ගන්නව. අද දවස ගැන පමණක් දන්න කෙනා හෙට දවසට කිසිවක් කරගන්නෙ නෑ. අන්න ඒ වගේ, මේ ජීවිතය ගැන පමණක් දැනගන්න කෙනා, ඊලඟ ජීවිතයට කිසිවක් ඉතුරු කරගන්නේ නෑ.


අන්න ඒ විදියට අපි මේ සසර ගැන නොදන්නවා නම්, ඊළඟ ජීවිතයක් තිබෙනවා කියල එයාට වැටහීමක් නැත්නම්, මරණයෙන් මත්තේ ඉපදීමක් තිබෙයි කියල එයාට වැටහීමක් නැත්නම්, එයා ඒ ජීවිතයට යහපත් විදියට යමක් රැස් කර ගන්ට කල්පනා කරන්නෙ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහල සසර ගැන වැටහීමක් ඇතිකරගන්න කෙනා, සුගති දුගති ලෝක ගැන වැටහීමක් ඇතිකර ගන්න කෙනා, දුගති ලෝකවලින් නිදහස් වෙලා සුගති ලෝකයක ඉපදීමට වුවමනා කරන පින් දහම් රැස්කරගන්ට පුරුදු වෙනවා.

අන්න ඒ විදිහට පින් කරගන්න කෙනා, පව් අතහරින කෙනා, මේ ජීවිතය ඉතාම සැප සේ වාසය කරන්ට වාසනා වන්තයෙක් බවට පත්වෙනවා. මේ ජීවිතය පින් කරමින්, පව් නොකර සැපවත් ජීවිතයක් ගතකරන කෙනාට ඊළඟ ජීවිතය ඉතාම සැප සහිත සුගති ලෝකවල ඉපදෙන්ට පුළුවන්කම තිබෙනවා. මෙබඳූ සැප සහිත ජීවිතයක් උදාකරගන්ට භාග්‍ය ලැබෙන්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව, ඒ සද්ධර්මය ඉගෙනගෙන, ඒ සද්ධර්මයට අනුව ජීවිතය ගත කරන කෙනාටයි.


ඒ නිසා අපි සියලු දෙනාටම සෙත් පතන්න කැමතියි, ආශිර්වාද කරන්න කැමතියි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන, ඒ සද්ධර්මය ඉගෙනගෙන, දහමට අනුව ජීවත් වෙන්නට සියලු දෙනාටම භාග්‍ය උදාවේවා ෟ


තෙරුවන් සරණයි.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.


Pasebudu pelahera

Pasebudu pelahera
Free Image Hosting at www.ImageShack.us

Deulowak thibeda?
Free Image Hosting at www.ImageShack.us


Rahathan wahanse

Rahathan wahanse - 2010 may 12
Free Image Hosting at www.ImageShack.us

Rahathan wahanse 115 - 2010 july 14
Free Image Hosting at www.ImageShack.us

Rahathan wahanse 117 - 2010 july 28
Free Image Hosting at www.ImageShack.us

Rahathan wahanse 120 - 2010 august 11
Free Image Hosting at www.ImageShack.us




Followers

Looking for something?

Search the Site

If you can't find what you are looking for, please leave a comment somewhere, subscribe to our feed and hopefully your question will be answered shortly, so please visit again!