Feed

Agra u de

ලෝකයේ අග්‍ර වූ දේ සඳහා සිත පහදවා ගනිමු
අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා යම් කෙනෙක් අග්‍ර වු පල විපාක කැමති වෙනවා නම් එයා අග්‍ර වූ දෙයට පැහැදෙන්න ඕන කියල. ලෝකයේ අග්‍ර වූ දෙයට පැහැදෙන කෙනාට අග්‍ර වූ සැප විපාක අග්‍ර වූ පල විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපට අපේ පැහැදීම ඇතිකර ගැනීම පිණිස මෙබඳු අග්‍ර වූ කරුණු 4ක් පෙන්වා දී තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ලෝකයේ සියලුම සත්වයින් අතර අග්‍ර වන්නේ බුදු රජාණන් වහන්සේ බව. යම් කෙනෙක් ඒ සියලු සත්වයන් අතරේ අග්‍රවන බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා නම් එයාට අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා. අග්‍ර වූ පල විපාක කියල කියන්නෙ අග්‍ර වූ සැප විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා.

මේ ලෝකයේ යම්තාක් සංකත වූ ධර්මයන් තිබෙනවා නම්, එනම් හේතුවකින් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවන්නා වූ යම් දෙයක් ඇත්නම් එබඳු ධර්මතාවයන් අතර අග්‍ර වන්නේ නිවන් මගයි. එනම් ආර්යාෂ්ඨාංගික මාර්ගයයි. යම් කෙනෙක් මේ ආර්ය-අෂ්ඨාංගික මාර්ගය කෙරෙහි පැහැදෙනවා නම් එයාට අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා. අග්‍ර වූ පල විපාක කියල කියන්නෙ අග්‍ර වූ සැප විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා.

ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා අසංකත ධර්මයන් අතර, අසංකත වූ දේවල් තියෙනවා නම් අන්න ඒවා අතර අතර අග්‍ර වන්නේ නිවනයි. යම් කෙනෙක් මේ අසංකත වූ දේවල් අතර අග්‍ර වන්නා වූ නිවන කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාටත් අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලොකයේ යම්තාක් පිරිස් සිටිනවා නම් අන්න ඒ පිරිස් අතරින් අග්‍ර වන්නේ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්. කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින් කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාටත් අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.


ඉතිං යම් කෙනෙක් මේ ලෝකයේ අග්‍ර වූ දෙයට පැහැදෙනවා නම් ඒ අග්‍ර වූ කරුණු කෙරෙහි පැහැදීම මුල්වෙලා එයාට සැප විපාක අත්කරගන්න පුළුවන්කම තියෙනවා කියල. සැප විඳින්න පුළුවන්කම තියෙනවා.


යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා නම් ඒ පැහැදුනේ විශාල ගුණධර්ම රාශියකින් පිරුණු, අතිශය උත්තම වූ ගුණධර්ම වලින් යුක්ත වූ උතුමන් වහන්සේ නමක් කෙරෙහියි. එබඳු ගුණධර්ම වලින් යුක්ත වූ උතුමන් වහන්සේ නමක් කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීමෙන්ම ඒ පැහැදුන කෙනාගෙ සිතේ පිරිසිදු භාවය ඇතිවෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදියට සිත පිරිසිදු වීමත් සමඟ සිත පිරිසිදු වීමට පටන් ගන්නවා.


ඒ වගේම යම් කෙනෙක් නිවන් මඟට පැහැදෙනවා නම් නිවන් මඟ පුරුදු කරන්න එයාට පුළුවන්කම තිබෙනවා. ඉතිං යම් කෙනෙක් නිවන් මග පුරුදු කරනවා නම් එයාට ඒකෙන් සැප විපාක ලැබෙනවා.


ඒවාගේම යම් කෙනෙක් නිවනට පැහැදෙනවා නම්, එයා අකුසල් බැහැර කරන්නත් කුසල් වඩන්නත් එයා තුල කැමැත්ත උපදිනවා. අන්න එමගින් එයාට සැප විපාක ලැබෙනවා.

ඒ වගේම තමයි බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාට එමගින් ධර්මශ්‍රවණය කරන්න පුළුවන්කම තිබෙනවා. දන් පැන් දෙන්න පුළුවන්කම තිබෙනවා. ශීලය ගැන දැනගන්න පුළුවන්කම තිබෙනවා. මේ විදියට නොයෙකුත් ආකාරයේ සැප අත්කර ගන්න පුළුවන් ධර්මයන්, සැප අත්කර ගන්න පුළුවන් විදියවල් පුරුදු කිරීමේ භාග්‍ය උදාවෙනවා ශ්‍රාවක සඟ රුවන කෙරෙහි පැහැදීමෙන්.


යම් කෙනෙක් මේ විදියට ලෝකයේ ඇති අග්‍ර වූ දේ කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත් නියත වශයෙන්ම එයාට අග්‍ර වූ සැප විපාක අත්කරගන්න විඳින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි මේ අග්‍ර වූ ලෝකයේ තියෙන ධර්මයන් කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීම පිණිස ඒ ධර්මයන් ගැන අපි හොඳින් ඉගෙන ගන්න ඕන. එතකොටයි අපට තේරෙන්නෙ ඒවා මේ ලොකයේ තිබෙන අග්‍ර වූ ධර්මයන් කියල. ඒ අග්‍ර භාවය උතුම් භව තේරුම් ගත්තොත් තමයි අපට ඒ කෙරෙහි පැහැදීම ඇතිකර ගන්න පුළුවන්කම තිබෙන්නෙ.

ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඒ වදාල ධර්මය ඉගෙන ගෙන අග්‍ර වූ ධර්මයන් කෙරෙහි පැහැදීම ඇතිකරගෙන අග්‍ර වූ සැප විපාක විඳීමට තරම් භාග්‍යවන්තයෝ වෙමු.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.


0 comments for this entry:

Leave a Reply

Followers

Looking for something?

Search the Site

If you can't find what you are looking for, please leave a comment somewhere, subscribe to our feed and hopefully your question will be answered shortly, so please visit again!